රස්නේ කාලෙට ඇඟම කූල් කරන රසය

රස්නය නිසා සමහර වෙලාවට අපේ ඇඟම නිකං වේලිලා යනවා වගේ නේද?රස්නයෙන් හම බේරගන්න නම් ක්‍රීම් ටිකක් ගාලා,කුඩයක් ඉහලගත්තා කියමුකෝ.ඒත් අපේ ඇඟ ඇතුළේ රස්නයට හරියට උත්තර දුන්නේ නැත්තං නම් වැඩේ ටිකක් බරපතල වෙලා ලෙඩ රෝග වුණත් ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා ඇඟට කූල් එකක් දෙන්න පුළුවන් රසම රස දේවල් වලින් රස්නය මට්ටු කරන්නේ කොහොමද කියල අපි බලමු.

මීකිරි-යෝගට්

මේවා “සිසිල් කිරීමේ ප්‍රමුඛයෝ” කිව්වොත් හරියටම හරි.නිකම්ම කන්නත් පුළුවන්.ඕනිම නම් ටිකක් වෙනස් විදියට කන්නත් පුළුවන්.ඒ කොහොමද දන්නවාද?ලැසී,බටර්මිල්ක් හරි ඩිප්ස් විදියට හදාගෙන.රස්නේ දවස්වලට හොඳටම ගැළපෙන අතුරුපස තමයි යෝගට් කියන්නේ.පළතුරු හරි කජු ටිකක් හරි දාගත්තා නම්...ම්ම්ම්ම්...මීකිරි-කිතුල් පැණි කියන්නෙත් ඉතින් හොඳ චොයිස් එකක් තමයි..

පරණ වුණත් වටින තැඹිලි

ලාබෙට ගන්න පුළුවන් කූල්ම ඩ්‍රින්ක් එක තමයි මේ.100%ක්ම අති ස්වභාවික මේ පානය ඔයාගේ ශරීර අභ්‍යන්තරය නියමිත ජල ප්‍රමාණයෙන් සජලීයව තියන්න හරිම වැදගත්.තැඹිලි වල අඩංගු පෝෂක කොටස් ඔයාව වැඩිපුර දහඩිය දැමීම නිසා ඇතිවන විජලන තත්වයෙන් ඔබව මුදාගන්නවා.

රසම රස කොමඩු

පායන කාලෙට දැනෙන තිබහ නිවන්න හොඳම පළතුර තමයි කොමඩු.කතරගම වගේ ටිකක් රස්නේ පළාතකට ගිහිල්ල කොමඩු ගෙඩියක් කනකොට දැනෙන සනීපය ඔයාලට අමුතුවෙන් මතක් කරන්න ඕනි නෑනේ යාළුවනේ.සමට ඉතා හොඳින්ම ගැළපෙන ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් බහුල කොමඩු ශරීර අභ්‍යන්තරය සිසිල් කරන්න වගේම සම පැහැපත් කරන්නත් නියමයි.

සීතල පිපිඤ්ඤා

රස්නේ දවස් මට්ටු කරන තවත් කෙනෙක් තමයි මේ පිපිඤ්ඤා.තන්තුමය පෝෂකවලින් බහුල එළවළුවක් වගේම පළතුරක් ද වෙන පිපිඤ්ඤා මළබද්දය වැනි රෝග තත්වයන් මර්දනය කරන්නත් නියමයි.රසට හැපෙන සලාදයක් වගේම රසවත් ජූස් එකක් විදියටත් පිපිඤ්ඤා ගුණය ඔයාලට ලබාගන්න පුළුවන්.

ඇඹුල් පළතුරු

මිදි,දොඩම්,ඇපල්,පෙයාර්ස්,බෙරි වර්ග,පැණි කොමඩු,කාමරංකා,වගේම ඩ්‍රැගන්ෆෘට් වගේ පළතුරු උණුසුම් කාලගුණයක් තියෙන දවස්වලට කියාපු පළතුරු.ඉහළ තන්තුමය පෝෂණයක් තියෙනවා වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනයි.ඒ වගේමයි අත්‍යවශ්‍ය පෝෂකයන්ගෙන් ඉතා ඉහළයි.

එළවළු - යාළු

ශරීර උෂ්ණත්වය අවම කරලා ඇඟ කූල් කරන්න හැකියාව තියෙන එළවළු වර්ග කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම රාබු, පිපිඤ්ඤා කොළ පැහැති කොළ වර්ග - නිවිති,සලාද කොළ වගේම මින්ට් (මිංචි) වගේ නැවුම් ඖෂධීය කොළ ඒ අතරින් ප්‍රධානයි. ඒ නිසා රස්නය සහිත කාලගුණයකදී එළවළු වලින් පෝෂිත ආහාර වේලක් ගැනීම ශරීරයට ඉතාමත් හිතකරයි.සලාද වශයෙන් හෝ වෙනත් රසවත් ආකාරයකින් එළවළු පෝෂණය ලබාගන්න පුළුවන්.
Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed