රස්නය නිසා කුරුලෑ කරදරයක් ඇතිවෙයිද?

කුරුලෑ අර්බුදයට දැඩිව මුහුණ දී සිටින ඔයාට විතරක් නෙවෙයි දාඩිය පෙරෙන රස්නේ කාලගුණයකදී ඕනිම කෙනෙකුට කුරුලෑ වදය ඇතිවෙන්න පුළුවන්. කුරුලෑ කියන්නේ කොහොමත් පුදුමාකාර අපහසුවක්.එහෙම නේද?අන්න ඒ වගේ අපහසුතාවයන්ට මුහුණ දීලා ඉන්න ඔයාට වගේම ඒකෙන් ගැලවෙන්න බලන් ඉන්න කට්ටිය වෙනුවෙන් තමයි මේ වටිනා කියන උපදෙස් ටික.

1. වතුර.

අධික උණුසුම් කාලගුණයකදී අපි පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි වතුර.සමේ සිදුරු තුළ ඇති ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්න වගේම ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත්කරන්නත් වතුර තරම් දෙයක් තවත් නැහැ.දිනපතා ඔයා පානය කරන වතුරට පිපිඤ්ඤා පෙති කිහිපයක් වගේම ලෙමන් යුෂ ටිකක් එකතු කරලම බොන්න ගන්නවා නම්,සමේ ක්‍රියාකාරිත්වයට සෘජු බලපෑම් එල්ලකරනවා වගේම කුරුලෑ වැනි තත්වයන්ට එරෙහිව සටන් කරන්නත් උපකාරී වෙනවා.ඒ විතරක්ම නෙවෙයි සම දීප්තිමත් වෙනවා.

2. ස්වභාවික තෙතමනය

අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ අපේ සමේ ආරක්ෂාවට වගේම සෞඛ්‍ය සම්පන්න සමක් වෙනුවෙන් කෘතීම ආලේපනයන් පාවිච්චි කරන්න.ඒත් ගොඩක්වෙලාවට හැමෝටම එකම නිෂ්පාදනය ගැළපෙන්නේ නෑ.ඒ,හැමෝගෙම හම එකම විදියට නැති නිසා.නමුත් ස්වභාවික ආලේපනයක් විදියට මීපැණි ඕනිම කෙනෙකුට එකම විදියට පාවිච්චි කරන්න පුළුවන්.උණුසුම් කාලගුණය නිසා සමට වෙන්න පුළුවන් හානි බොහොමයක් වළක්වන්න මීපැණි වලට පුළුවන්.

3. පිරිසිදු ඇතිරිලි.

මොන වගේ කාලගුණික තත්වයකදී වුණත් පිරිසිදුකම කියන්නේ ඉතාම අත්‍යාවශ්‍ය වැදගත් දෙයක්.නමුත් රස්නය සහිත කාලගුණයකදී මේ පිරිසිදුකම ගැන දෙවරක් සිතීම අවශ්‍යමයි.විශේෂයෙන්ම ඔයා පාවිච්චි කරන ඇඳ ඇතිරිලි ආදිය පිරිසිදුව තබාගැනීම නිරෝගී සමක් සඳහා අතිශය වැදගත්.නිදනකාමරයට විතරක් සීමා නොවී ඔයා පාවිච්චි කරන හැම ඇතිරිල්ලක්,ඇඳුමක්ම පිරිසිදුව තියාගන්න අවශ්‍යයි.දහඩිය සහිත ඇඳුමකින් වුණත් ඔයාට විෂබීජ ආසාදනය වෙලා රෝග තත්වයෙන් ඇතිවෙන්න පුළුවන්.බැක්ටීරියා වැනි විෂබීජ ආසාදනය වීමෙන් සම හානියට පත්වී කුරුලෑ වැනි තත්වයන් හටගන්න ඉඩ තියෙනවා.ඒ නිසා පිරිසිදුකමට අංක එක දුන්නත් වරදක් නැහැ.

4. ව්‍යායාම

මේකත් හරිම වැදගත් දෙයක්.උණුසුම් කාලගුණයකදී ශරීරය නියමාකාරයෙන් පවත්වාගැනීමත් හරිම වැදගත්.ශරීර හැඩය පවත්වාගෙන යන්නම විතරක් නෙවෙයි,රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි මෙන්ම සක්‍රීයව පවත්වාගෙන යන්නත් ව්‍යායාම අවශ්‍යයි.එමඟින් අක්‍රීය සෛල කොටස් ඉවත්වී සම පිරිසිදු වීමක් ද වෙනවා.ව්‍යායාම අතරතුර සිදුවන දහඩිය දැමීමෙන් ශරීරයේ විෂ ද්‍රව්‍ය පහ කෙරෙනවා.නමුත් දහඩිය නිසි පරිදි ඉවත් කලේ නැත්තං,කුරුලෑ වැනි ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්.ඒ නිසා ව්‍යායාම වලින් පස්සේ හොඳින් පිරිසිදු වෙන්නත් අමතක කරන්න එපා.

5. වෙනස් නොවෙන කාලසටහන

ස්කින් කෙයාර් රූටිං එකකදී අමතක කරන්නම බැරි දෙයක් තමයි දිනපතා එම කටයුතු පවත්වාගෙන යෑම.කෙටියෙන්ම කියනවා නම් ඔයා මොනා හරි සත්කාරයක් ඔයාගේ මුහුණ,ඇඟ වෙනුවෙන් කරනවානම්,ඒක මතක් වෙන වෙලාවට විතරක් කරන්නේ නැතුව හැමදාම කාලසටහනකට අනුව සිදුකරන එක.ඒක උදේ-රෑ කියන කාලවලදී බෙදාගෙන සිදු කරන්න පුළුවන්.නියමිත පරිදි වතුර පානය කිරීම,නිසි තෙතමනය ලබාගැනීම,සේදීම් කටයුතු,ඇතිරිලි මාරු කිරීම වගේම දහඩිය සහිත ඇඳුම් ඉවත්කිරීම වගේ කටයුතු දිනපතා නිසි කාලසටහනකට අනුව කරන්න පුළුවන් නම්,කුරුලෑ වදයෙන් මිදිලා නිරෝගී සමක් ලබාගන්න රස්නය-සීතල, මේ ඕනිම කාලගුණ තත්වයකදී පුළුවන්.
Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed